- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- දාම්පේ කනිෂ්ඨ විද්‍යාලය -

 

dampekv

 

      බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත‍්‍රික්කයේ, හෝමාගම අධ්‍යාපන කලාපයේ, පාදුක්ක කොට්ඨාසයේ 464/ඒ, දාම්පේ ග‍්‍රාම නිළධාරී කොට්ඨාසය තුළ මෙම පාසල පිහිටා ඇත. මෙම පාසල පිහිටියේ හෝමාගම අධ්‍යාපන කලාප කාර්යාලයේ සිට කි.මී 8 ක දුරකිනි. හෝමාගම අධ්‍යාපන කාර්යාලයේ සිට හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධියෙන් පැමිණ මාර්ග අංක 125 පාදුක්ක ඉංගිරිය බස්රථ ධාවන මාර්ගයේ මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය දක්වා පැමිණ දකුණු දෙසට තිබෙන දාම්පේ පාර ඔස්සේ කී.මී 2 දී පමණ හමුවන දාම්පේ මංසන්ධිය පසුකර විහාරස්ථානය ආසන්නයේදී දාම්පේ කනිෂ්ඨ විද්‍යාලයට ප‍්‍රවේශ විය හැකිය.

ඉහිතාසය

        මෙම පාසලේ ආරම්භක වකවානුව ස්ථිර වශයෙන් සඳහන් වී නොමැති අතර දැනට පාසැල පිහිටි ස්ථානයට ආසන්නව පිහිටා ඇති විහාරස්ථාන භූමියේ සමාගම් මඩුවක මුලින්ම එය පවත්වාගෙන ගිය බව ගමේ පැරැන්නෝ පවසති. එවකට ගමේ ජීවත් වූ වතුපාලක යුවලක් සිය කැමැත්තෙන් නොමිලේ මෙහි අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් ඇති අතර එහි ආරම්භක සිසුන් ගණන 25 ක් පමණ වී ඇත.

        පසුව සිසුන් ක‍්‍රමයෙන් වැඩිවත්ම ඉඩ පහසුකම් මදීවීම නිසා තෙහානිස් රණසිංහ මහත්මා විසින් ඔහුට අයත් වූ බිම් කැබැල්ලක එනම් පාසැල දැනට පිහිටා ඇති ඉඩම හෙළි පෙහෙළිකර පොල්අතු මඩුවක් සාදවා පාසැල පවත්වාගෙන යෑම සඳහා පරිත්‍යාග කර ඇත. එම කාල සීමාව ක‍්‍රි.ව 1920 යැයි සොයාගත් තොරතුරු අනුව විශ්වාස කළ හැකිය.           

        පසු කාලයේදී මහාබෝධි සංගමයේ ගරු සභාපති ගාමිණි ජයසූරිය මැතිතුමාගේ මුත්තනුවන් වූ ගුරුන්නාන්සේ මහත්මයා විසින් එවක පැවති රජයට මෙම පාසැල භාරදීමෙන් පසු 1925 මැයි මස 01 වන දින සිට දාම්පේ ස්වභාෂා මිශ‍්‍ර පාඨශාලාව නමින් රජයේ ලියාපදිංචි පාසැලක් බවට පත්වී ඇත. මෙහි ආරම්භක මුල් ගුරුවරයා වශයෙන් ටී.බී. කොතලාවල මහත්මා පත්වූ අතර ආරම්භක ගුරු මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විත විය.

භෞතික සම්පත්

        පුහු පොල්ගස් වත්ත අක්කර 1 රූඞ් 0 පර් 02 ක ඉඩම පිස්කල් හා හේවාගම් කොරළයේ නැගෙනහිර කොට්ඨාසයේ ආදායම් පාලක නිලධාරී මහතා භුක්තිය භාරගෙන අධ්‍යාපන දෙපාර්තමේන්තුවට පැවරීමෙන් පසු මෙම ඉඩම පාසැල් භූමියට අයත් වී ඇත. මෙහි ප්ලෑන් අංකය P.P.A nomm  වන අතර මෙය 1965. 01. 11. දින සිදුවූවකි. 1936. 01. 21. අළුත් ගොඩනැගිල්ලක තනවන තුරු තාවකාලික ගොඩනැගිල්ලක පාසල පවත්වාගෙන යාමට අදාළ කටයුතු සලසාගෙන ඇත. ඉන්පසු අභිනව පාඨශාලාවේ අධ්‍යාපන කටයුතු ආරම්භ වී ඇත්තේ 1936. 07. 01. වන දින සිට එන්. සී. ඒ. කරුණාසේකර විදුහල්පතිතුමාගේ පාලන සමයේදීය. දෙවරු පාඨශාලාවක් ලෙස පැවති මෙම පාසල එක්වරුවේ පාසැලක් ලෙස පවත්වාගෙන යාමට හැකිවී ඇත්තේ ඉන්පසුවය.

        1976 වසරේදී 40 X 20 විද්‍යාගාර ගොඩනැගිල්ල තැනීම සඳහා මංගල පස් පිඩැල්ල කැපීම සිදුවී ඇත්තේ ප‍්‍රදේශවාසී ප‍්‍රභූන් හා ගුරු දෙගුරු සමිතියේ නියෝජිත මහතුන් අතිනි. 1977 වසරේදී මෙම ගොඩනැගිල්ල විවෘත කර ඇත්තේ කේ. කේ. ඞී. ධර්මදාස විදුහල්පතිතුමාගේ පාලන සමයේදීය.

        1991 වසරේදී විදුලි ආලෝකය ලබාදීමට කටයුතු සලසා ඇත. තවද මහජන බැංකුවට පනස් වසරක් පිරීම නිමිත්තනේ විද්‍යාලයට නලජල පහසුකම් ලබාදීම හා උපකරණ රාශියක් ලබාදීම සිදුවී ඇත්තේ ජී. ඞී. ආරියදාස විදුහල්පතිතුමා නායකත්වය හොබවන සමයේය.

        1993 වසරේදී පුස්තකාල ගොඩනැගිල්ල තැනීමේ යෝජනාව පාසල් සංවර්ධන මණ්ඩල රැස්වීමේදී කතාබහට ලක්වී ඇත. 1997 වසරේ ඔක්: 16 වන දින අධ්‍යාපන අධ්‍යක්ෂතුමා නියෝජනය කරමින් විද්‍යාලයේ ක‍්‍රීඩා මණ්ඩපයට මුල්ගල තැබීම මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මත සිදුවී ඇත. ඉන්පසු ක‍්‍රීඩා මණ්ඩපය විවෘත කිරීමේ උත්සවය 1998 දෙසැම්බර් මස 01 වන දින සිදුකර ඇත. ප‍්‍රවාහන අපසුතාවලින් හෙබි මෙම ප‍්‍රදේශයේ අප විද්‍යාලයට අත්‍යවශ්‍ය ඒකකයක්ව පැවති ගුරු නිවාසය සඳහා මුල්ගල තැබීම 1998 මැයි 05 දින සිදුවූ අතර 1999 නොවැම්බර් මස ගුරු නිවාසය විවෘත කිරීමේ උත්සවය කේ. එච්. එස්. බී. හේරත් විදුහල්පතිතුමාගේ නායකත්වයෙන් සිදුවී ඇත.

        2003 ජුනි 13 දින බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කර බුදුමැදුර විවෘත කිරීමේ උත්සවය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා ඇතුළු පාසලේ ගුරු ම`ඩුල්ල හා සිසු දෙමාපියන් සියලූ දෙනාගේ සහභාගීත්වයෙන් සිදුවී ඇත.
2005 ජුලි මස 12 වන දින හෝමාගම සිංහ සමාජය මගින් නිමවන ලද පංතිකාමර දෙකක් සහිත නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවී ඇත. 2005 ඔක්තෝම්බර් 06 වන දින විදුහලට පරිත්‍යාග කරන ලද ශබ්ද විකාශන යන්ත‍්‍ර පද්ධතිය සිසු අයිතියට පැවරිමේ උත්සවය සිදුවී ඇත්තේ කේ. ඒ. විජේසේකර විදුහල්පතිතුමාගේ පාලන සමයේදී ය.

        තවද 2009. 04. 07 වන දින පරිගණකය හා ප‍්‍රින්ටරය සිසු අයිතියට පත්කර ඇත. ඊට අමතරව ජර්මනියේ මයින්ස්හි ජොහැන්නස් ගුඩැන්බර්ග් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැන්ගේඞ් ඩෙම්රෝස් මහතා විසින් මෙම විදුහලට වසර 03 කට වැටුප් සහිතව ගුරු මහත්මයෙකු ද නවීන පන්නයේ පරිගණක 10 ක් පරිත්‍යාග කර ඇත්තේ 2011 නොවැ: 01 වනදා ය. 2011 නොවැ: 24 වන දින අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරිගණකයක් පරිත්‍යාග කර ඇත.

 

වර්තමාන තත්ත්වය


      ප‍්‍රාථමික අංශයේ සිට අ.පො.ස (සා. පෙළ) දක්වා පන්ති පැවැත්වෙන මෙම විදුහලේ විභාග සමත්වීමේ ප‍්‍රතිශතය වරින්වර වෙනස් වෙමින් ඉදිරියට එන බව පෙනෙන්නට තිබේ. පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පවා වසරක් පාසා සමත්වන සිසුන් ගණනද වැඩි වී ඇත. පහ වසර සමත්වන සිසුන්ගෙන් වැඩි ප‍්‍රතිශතයක් නගරයේ පාසල් කරා ඇදීයාමේ ප‍්‍රවණතාවයක් ඇති මෙය ඉදිරියේදී ප‍්‍රාථමික ආදර්ශ විද්‍යාලයක් බවට පත්වීමට නියමිතව ඇත.

        සිංහල සාහිත්‍ය තරගාවලියේදී දිවයින පුරා පිහිටි සිසුන් 250 කට අඩු පාසල් අභිබවමින් කථික තරගයකින් සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය මෙම පාසලේ දරුවෙකුට හිමිවිය. 1994 වර්ෂයේදී පැවතුණු වගා තරගෙයෙන් මණ්ඩලයේ සියලූ පාසල් අතරින් දෙවන ස්ථානය හිමිවිය. පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයේ ප‍්‍රාථමික අංශයෙන් පැවති අධ්‍යාපනික ප‍්‍රදර්ශනේයේදී පහ වසර සිසුන් ඉදිරිපත් කළ ධීවර කර්මාන්තය ප‍්‍රදර්ශනාංගයට ප‍්‍රථම ස්ථානය හිමි විය. 2 වර්ගයට අයත් පාසලක් වන මෙහි වර්තමාන ගුරුමණ්ඩලය විදුහල්පතිතුමිය ඇතුළු 14 දෙනෙකුගෙන් සමන්විත වන අතර සිසු පිරිස 160 ක් වේ.

        විදුලිය පහසුකම්, ජල පහසුකම්, පුස්තකාලය, විද්‍යාගාරය, ක‍්‍රිඩා උපකරණ, සංගීත භාණ්ඩ, පරිගණක යන්ත‍්‍ර ආදිය ලබා ගනිමින් විවිධ ආයතන හා සම්බන්ධ වී උදව් ලබාගනිමින් අද වන විට පාසලේ මෙවන් ගුණාත්මක දියුණුවක් සලසාගෙන ඇත්තේ එදා සිට අද දක්වා සේවයේ යෙදුණු විදුහල්පතිවරුන්ගේ කැපවීම හා අප‍්‍රතිහත ධෛර්යය නිසා ය.

දැක්ම

යහගුණ වර්ධනයෙන් සහ නිපුණතාවයන්ගෙන් පරිපූර්ණ වූ අභියෝග ජය ගැනීමට සමත් දරු කැලක් දැයට දායාද කිරීම

 

මෙහෙවර ප‍්‍රකාශය

දරුවට අත්දැකීම් ලැබීමටත් ඒවා පුළුල් ලෙස භාවිතා කිරීමට අවස්ථාව ලබාදීමටත් මානව හිතවාදී හා යහපත් ආකල්ප වර්ධනයටත් මග පෑදෙන අයුරින් ශිෂ්‍ය කේන්ද්‍රීය හා නිපුණතා පාදක ඉගෙනුම් - ඉගැන්වීම් ක‍්‍රියාවලියක් සදහා මානව හා භෞතික සම්පත් සංවර්ධනය කර ගනිමින් ද උපරිම අයුරින් ඵලදායී හා කාර්යක්ෂම ලෙස යොදා ගනිමින් ද ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම.

 

1925 සිට 2012 දක්වා විද්‍යාලයේ විදුහල්පතිවරුන්ගේ නාම ලේඛනය

01
ඞී. බී. කොතලාවල මයා 
1925 - 1933
02
එන්. ඞී. ඒ. කරුණාසේකර මයා              
1933 - 1941
03
පී. ඊ. පෙරේරා මයා                        
1941
04
කේ. පී. සිරිසේන මයා                       
1941 - 1956
05
කේ. හෙන්ද්‍රික් මයා                          
1955 - 1956
06
කේ. ඬේවිඞ් සිංඤෝ මයා                    
1956
07
ඞී. ජේ. හුලන්දූව මයා                      
1956 - 1962
08
කේ. එම්. සෝමසිරි මයා           
1963 - 1964
09
ඞී. පී. ජයසූරිය මයා                        
1964
10
එන්. ඞී. ලෝරන්ස් මයා                     
1964
11
ඞී. ඒ. වැලිකල මයා                         
1964-1966
12
ටී. එච්. චන්ද්‍රසේන මයා                    
1966
13
කේ. ලූවිස් මයා                             
1966
14
ආර්. ඞී. එස්. සෙනෙවිරත්න මයා           
1966 - 1970
15
ඞී. ඒ. වැලිකල මයා                          
1970
16
බර්තෝලිස් ආටිගල මයා                     
1970 - 1971
17
පී. එම්. මොහොට්ටාල මයා                  
1971 - 1973
18
ඊ. ගාල්ලගේ මයා                           
1973 - 1976
19
කේ. කේ. ඞී. ධර්මදාස මයා                 
1976 - 1978
20
බර්තෝලිස් ආටිගල මයා                     
1978 - 1980
21
ඞී. එම්. එම්. විජේපාල මයා                 
1980 - 1982
22
එච්. පී. සුගතසේන මයා                     
1982 - 1990
23
පී. උභයපාල මයා                           
1990
24
ජී. ඞී. ආරියදාස මයා                        
1991 - 1993
25
කේ. එච්. බී. එස්. බී. හේරත් මයා          
1993 - 2002
26
කේ. ඒ. විජේසේකර මයා                    
2002 - 2007
27
එම්. එම්. විජේරත්න මයා                   
2007 - 2009
28
අයි. බී. එල්. ඒ. ඉඹුලාන මිය               
2009 - සිට

 


tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |