- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- ශාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලය -

 

boscomv

 

      හෝමාගම අධ්‍යාපන කලාපයේ සීතාවක අධ්‍යාපන කොට්ඨාසයේ කළුඅග්ගල ප‍්‍රදේශයේ පිහිටි මෙම පාසල හෝමාගම අධ්‍යාපන කලාපයේ සිට කි. මී. 20 ක පමණ දුරකින් පිහිටා ඇත. හෝමාගම නගරයේ සිට 122 අව්ස්සාවේල්ල මාර්ගයේ ගොඩගම, මීගොඩ, මීපේ හා පහත්ගම යන නගර පසුකරමින් කළුඅග්ගල නගරයට පැමිණි විට 122 මාර්ගයට දකුණු පසින් වික්ශෝප දේවා මාතා පල්ලියට පසෙකින් මෙම පාසල පිහිටා ඇත. පෘතුගීසි සමයේ බලකොටුවක්ව පැවති ඓතිහාසික වටිනාකමකින් යුතු කළුඅග්ගල ග‍්‍රාමයේ පිහිටි පාසලක් ලෙස මෙය වැදගත් වේ.

පාසලේ ඉතිහාසය


      20 වන සියවසේ මුල් භාගය වන විට කළුඅග්ගල ග‍්‍රාමයෙහි මිශ‍්‍ර සිංහල පාසලක් ආරම්භකර තිබුණ ද ඉංග‍්‍රීසි මාධ්‍ය පාසලක් නොතිබුණි. මේ නිසා ප‍්‍රදේශවාසීන් එක්ව වික්ශෝප දේව මාතා දෙව් මැදුරෙහි පියතුමා වූ "මාහේ පියතුමාගේ" මූලිකත්වයෙන් පොල් කණු සිටවා, පොල් අතු සෙවිලි කළ කුඩා පැල්පතක් ඉදිකර ක‍්‍රි.ව. 1937 ජනවාරි මස 13 වන දින කතෝලික ඉංග‍්‍රීසි පාසලක් ලෙස මෙය ආරම්භ කරන ලදී. සිසුන් 11 දෙනෙකුගෙන් ආරම්භ වූ මෙමම පාසලෙහි ආරම්භක සිසුවා ලෙස ඉතිහාස ගතවනුයේ පසු කාලීනව ගාල්ල රාජගුරු ප‍්‍රසාදිතුමන් ලෙස අභිෂේක ලැබූ ගරු සිල්වෙස්ටර් පියතුමාය. දුගී දුප්පත් අහිසංක දරුවන්ගේ අනාගතය උදෙසා තම ජීවිතය කැප කළ, දරුවන් වෙනුවෙන් අපරිමිත මෙභෙයක් ඉටුකළ "ශුද්ධ වූ ජෝන් බොස්කෝ මුණිතුමා" සිහිවීම පිණිස පාසලට එතුමාගේ නම තබා ඇත.

         බොස්කෝ විද්‍යාලය ක‍්‍රි. ව. 1941 දී ආධාර ලබන පාසලක් ලෙස ආණ්ඩුවේ ලියාපදිංචි කිරීම සිදු විය. ක‍්‍රි.ව. 1959 දී පළමුවන ශ්‍රේණියේ පාසලක් ලෙස නම් කළ බොස්කෝ විද්‍යාලය 1960 අංක 05 හා 1961 අංක 08 දරණ පනත් මඟින් 1968.01.01 දින සිට ක‍්‍රියාත්මක වන පරිදි මෙම පාසල රජයට පවරාගෙන ඇත.

         රජයට පවරාගන්නා විට බොස්කෝ විද්‍යාලයේ පැවති ශ්‍රේණි පරාසය වන්නේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාය. ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලය යනු පාසල් කිහිපයක් අනුයුක්ත කර ඇති පාසලකි. කළුඅග්ගල ප‍්‍රදේශයේ පිහිටා තිබූ කො / කළුඅග්ගල ජයන්ති විද්‍යාලය ක‍්‍රි. ව. 1962.08.29 වන දින අංක 13257 ගැසට් පත‍්‍රයට අනුව බොස්කෝ විද්‍යාලයට පවරාගෙන ඇත. ඉන්පසුව 1984.02.01 වන දින කො/කළු/ රෝමානු කතෝලික ක. ප‍්‍රා. විදුහල බොස්කෝ විද්‍යාලයට ඒකාබද්ධ කරන ලදී, එතැන් සිට බොස්කෝ විද්‍යාලයෙහි 1 ශ්‍රේණියේ පංති ආරම්භ කර ඇත. මෙයින් පසු විටින් විට මෙම පාසලට ආසන්නයේ පවත්වාගෙන ගිය රජයේ පාසල්වන මාවල්ගම ක. විද්‍යාලය හා කහටපිටිය ක. විද්‍යාලය බොස්කෝ විද්‍යාලයට පවරාගෙන ඇති බව ශිෂ්‍ය ඇතුලත්වීමේ ලේඛනය අනුව පැහැදිලි වේ. ක‍්‍රි. ව. 2004 දී 5 ශ්‍රේණියේ දක්වා වූ නිරිපොල ක. වි. හා 9 ශ්‍රේණිය දක්වා වූ බොරළුගොඩ සිද්ධාර්ථ ක. වි. අනුබද්ධ පාසල් ලෙස ඒකාබද්ධ කර එම සිසුන් මෙම පාසලට බඳවා ගැනීම අනිවාර්ය කර ඇත. මේ ආකාරයට ආරම්භයේ සිසුන් 11 ව සිටි බොස්කෝ විද්‍යාලයේ ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබුණි. පාසලේ ආරම්භයෙන් පසු මුල් කාලයේ දී විද්‍යා විෂයධාරාව තිබුණු අතර 80 දශකය පමණ වන විට උසස් පෙළ සඳහා කලා වාණිජ්‍යය විෂයධාරාවන් පැවැත්වුණි. මේ වන විට 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සමාන්තර පංති තුනකින් පංති පැවැත්වෙන අතර උසස් පෙළ සඳහා කලා වාණිජ්‍ය පංතියක් බැගින් පැවැත්වේ.

           පොල් අතු මඩුවකින් ආරම්භ කරන ලද බොස්කෝ විද්‍යාලය ක‍්‍රි.ව. 1941 දී වර්ග අඩි 100 ක ප‍්‍රමාණයේ ශාලාවක් ලෙස වර්ධනය විය. ඉන්පසුව ස්මිත් පියතුමාගේ පාලන කාලයේ දී ක‍්‍රි. ව. 1953 අගෝස්තු 08 වන දින විද්‍යාගාර ගොඩනැඟිල්ල ද, ක‍්‍රි. ව. 1956 දී ප‍්‍රධාන දෙමහල් ගොඩනැඟිල්ල ඉදි විය. ක‍්‍රි. ව. 1954 ජුනි මස 15 වන දින සන්දනම් මහතා හා ස්මිත් පියතුමාගේ දායකත්වයෙන් සොහොන් පිට්ටනියක්ව පැවති භූමිය තුළ බොස්කෝ විද්‍යාලයට අවශ්‍ය ක‍්‍රීඩා පිටියක් ඉදිකිරීම සිදු විය. එම ක‍්‍රීඩාංගනයට ක‍්‍රීඩාගාරයක් ඉදිකිරීම ක‍්‍රි.ව. 1955 දී ආරම්භ වූ අතර, ක‍්‍රි.ව. 1956 නොවැම්බර් 03 වන දින දෙමහල් ගොඩනැඟිල්ලක් ලෙස නව ක‍්‍රීඩාගාරය විවෘත විය. ක‍්‍රි. ව. 1982 ජුලි 23 වන දින දේවස්ථානය ඉදිරිපිට කුඩා ගොඩනැඟිල්ලක් ඉදිවූ අතර, ඉන්පසුව ක‍්‍රි. ව. 1998 ජනවාරි 28 වන දින පාසලේ තෙමහල් ගොඩනැඟිල්ල ඉදිකිරීම අවසන් කර සිසු අයිතියට පවරා ඇත. මේ ආකාරයට බොස්කෝ විද්‍යාලයේ භෞතික සම්පත් දිනෙන් දින වර්ධනය වූයේ පාසලේ නියමුවන් වූ විදුහල්පතිවරුන්ගේ දැඩි කැපවීම මත බව පැහැදිලිවේ. පාසල ආරම්භයේ පටන් වර්තමානය දක්වා බොස්කෝ විද්‍යාලයෙහි විදුහල්පතිවරුන් විසිදෙනෙක් වූහ. වර්තමාන විදුහල්පතිතුමන් වන්නේ එම්. කේ. කරුණාරත්න මහතාය. පහත දැක්වෙනුයේ බොස්කෝ විද්‍යාලයට නායකත්වය ලබාදුන් නියමුවන්ගේ නාමලේඛනය යි.

01)       ජේ. ඒ. බී. පෙරේරා මහතා                     (1937.01.11 –- 1937.09.05)
02)       ඒ. එම්. ඉරුදසාමි මහතා                        (1937.09.06 –- 1938.01.09)
03)       ජේ. කේ. කේ. ජයවර්ධන මහතා                  (1938.01.10 - 1940.01.31)
04)       එඩ්වඩ් පෙරේරා මහතා                         (1940.09.02 –- 1941.09.01)
05)       එස්. එෆ්. ලොරේටස් මහතා                          (1940.09.02 –- 1941.01.07)
06)       ටී. සන්දනම් මහතා                                (1941.01.03 – - 1971.01.01)
07)       බී. එස්. ගුණසේකර මහතා                      (1971.01.02 - 1971.02.06)
08)       ජී. බී. බන්නැහැක මහතා                        (1971.02.18 –- 1973.05.01)
09)       අයි. ඩී. අයි. ප‍්‍රනාන්දු මහතා                    (1973.05.14 –- 1976.04.30)   
10)       එච්. ඩබ්ලිව්. රූපසිංහ මහතා                   (1976.04.30 - 1977.08.08)
11)       පී. ඒ. ඩී. ඩී. ගුණවර්ධන මහතා               (1977.08.08 - 1978.07.07)
12)       ඊ. ඩී. පලිහපිටිය මහතා                          (1978.09.01 –- 1980.05.15)
13)       ඩබ්ලිව්. කරුණාසේන මහතා                  (1980.05.16 - 1980.12.03)
14)       එන්. එච්. ගුණදාස ද සිල්වා මහතා                (1981.01.01 - 1989.05.31)
15)       එච්. ඒ. පී. බණ්ඩාර මහතා                      (1989.06.01 - 1992.08.29)
16)       එච්. එස්. කේ. විජේතිලක මහතා                  (1992.09.01 - 1994.07.15)
17)       ගුණදාස සිල්වා මහතා                            (1995.01.02 –- 1997.10.01)
18)       ජේ. ජයසිංහ මහතා                                (1997.01.31 - 2003.10.08)
19)       ධර්මසිරි කහවල මහතා                          (2003.10.10 - 2006.06.26)
20)       එම්. කේ. කරුණාරත්න                         (2006.06.20 - වර්තමානය දක්වා)


දැක්ම    

සීතාවක අධ්‍යාපන කොට්ඨාසයේ ආකර්ෂණීය පාසල බවට පත්කිරීම අපගේ දැක්මයි

 

මෙභෙවර     

        ජාතික  අධ්‍යාපන  අරමුණ  සාක්ෂාත්  කරගැනී මෙහි  ලා දරුවන් ට මූලික අධ්‍යාපන නිපුණතා ළඟා කරගැනීමට  අවශ්‍ය වන්නා වූ දැනුම, කුසලතා හා ආකල්ප සංවර්ධනය පිණිස  අවස්ථා නිර්මාණය,  උපදේශනය  හා  සම්පත්  සැපයීම  තුළින්  සහය වෙමින් දේශයට හා ජාතියට හිතැති සමබර උසස් පෞරුෂයකින් යුත් අනාගත පරපුරක් බිහිකිරීම අපගේ මෙභෙවරයි

 

                      

 

                        2012 වර්ෂය වන විට ශිෂ්‍යයන් 728 ක් ද, ශිෂ්‍යාවන් 704 ක් ද පාසලේ අධ්‍යාපනය ලබති. මේ වන විට සිසුන් සඳහා පාසලෙහි ක‍්‍රියාත්මක වන විෂය සමගාමී ක‍්‍රියාකාරකම් ගණන 10 කි. ආරම්භයේ පටන් බොස්කෝ විද්‍යාලය අත්කරගෙන තිබෙන ක‍්‍රීඩා කුසලතාවයන් රාශියකි. ඉන් කිහිපයක් පහත දැක්වේ.

    ක‍්‍රි.ව. 1948, 1949, 1950, 1951, 1954, 1956 වර්ෂයන්හිදී සමස්ත ලංකා අන්තර් විද්‍යාලයීය බාලක වොලිබෝල් ශූරතාව

                ශ‍්‍රී  ලංකාවේ  බිහිවූ  ප‍්‍රථම  කාන්තා  වොලිබෝල්  කණ්ඩායම  µමම  පාසලෙන්   බිහිවූ  අතර, 1956, 1957, 1958          වර්ෂයන්හිදී සමස්ත ලංකා කාන්තා වොලිබෝල් ශූරතාවය දිනා ඇත.

         1969  ඉන්දු -  ශ‍්‍රී ලංකා මලල  ක‍්‍රීඩා  උළෙල වයස අවු.19 න්  පහල  මීටර් 110 කඩුලු පැනීම තත්.14.9 වාර්තාවක් 
පිහිටුවමින්  ඩබ්ලිව්. ඒ. එස්. ප‍්‍රනාන්දු  රන්  පදක්කමක්  දිනා  ගැනීම. එම ක‍්‍රීඩා උළලේම  උස  පැනීම  හා රිටි පැනීම    
තුන්වන ස්ථානය දිනා ගැනීමට පී. එම්. වීරසිංහ සමත් විය.

         2001 වර්ෂයේ 13 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම හෝර්ලික්ස් කුසලාන ක‍්‍රිකට් තරඟමාලාවේ අනුශූරතාව දිනා ගැනීම.

         2002 - 2004 කාල සීමාවේ දී දිගු දුර දිවීම, කඩුළු පැනීම වැන ඉසව් සඳහා සමස්ත ලංකා තරඟ නියෝජනය.

 

                        අධ්‍යාපනික වශයෙන් බොස්කෝ විද්‍යාලය හෝමාගම අධ්‍යාපන කලාපයේ 5 ශෙ‍්‍ර්ණිය ශිෂ්‍යත්ව ප‍්‍රතිඑල අතරින් ඉහළ ස්ථානයක රැඳෙන අතර, 2007 වසරේ ජිනුෂි මාලින්දි සළුවඩන සිසුවිය ලකුණු 196 ක් ලබා දිවයිනේ දෙවන ස්ථානයට පත් වෙමින් බොස්කෝ මාතාව දිවයිනේ දිදුලන පාසලක් බවට පත් කිරීමට හැකිවිය. 2006 සිංහල ගද්‍ය රචනා තරඟයෙන් සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානයත් දිනා ගැනීමට ඩබ්ලිව්. චමිල් අසංක ශිෂ්‍යයා සමත් වුණි. එම වසරේදීම බස්නාහිර පළාත් ගද්‍ය රචනා ප‍්‍රථම ස්ථානය දිනා ගැනීමට චින්තක එරංග කරුණාරත්න සිසුවා සමත් විය.

                        2011 වර්ෂයේ දී රශ්මි ගිම්හානි ශිෂ්‍යාව විද්‍යාව අංශයේ තරඟයෙන් බස්නාහිර පළාත් දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය. 2006 වර්ෂයේ ඉංග‍්‍රීසි භාෂා තරඟ මාලාවේ දී ඉසංකා මධුසංකා කුමාරි ශිෂ්‍යාව වැල් අකුරු ලිවීම තරඟයෙන් ප‍්‍රථම ස්ථානය ද, චලනි ඉසංකා රාමනායක සිසුවිය අත් අකුරු තරඟයෙන් දෙවන ස්ථානය ද දිනා ගනිමින් පාසලට කීර්තියක් අත්කර දුන් අතර, 2011 වර්ෂයේ පළාත් ඉංග‍්‍රීසි භාෂා තරඟමාලාවෙන් අත් අකුරු ලිවීම දෙවන ස්ථානය දිනා ගැනීමට දිල්කා තත්සරණි සිසුවිය සමත් විය. නර්තනය හා සංගීත අංශවලින් දක්ෂතා හා කලාප , පළාත් මට්ටමේ ජයග‍්‍රහණ ද සමාජ විද්‍යා සිංහල භාෂා අංශයේ පළාත් මට්ටමේ තරඟ නියෝජනයන් සිදුකිරීමට ද µමම පාසලේ සිසු සිසුවියන් සමත් වූ අතර එමඟින් බොස්කෝ මාතාව හෝමාගම කලාපයේ දිදුලන පාසලක් බවට පත්කරලීමට ඔවුනට හැකිවිය.

      මෙමම පාසලෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ පුද්ගලයින් ලෙස ඉතිහාස ගත වන්නන් අතරින් ගාල්ල රදගුරු සිල්වෙස්ටර් පියතුමා ද, දිවයිනේ කීර්තිමත් කවියෙකු වූ ඔරුවල බන්දු නැමැති කවියා ද සුවිශේෂී වේ.

                        බොස්කෝ විද්‍යාලයේ ආරම්භයේ සිට වර්තමානය දක්වා විද්‍යාලයේ සාර්ථකත්වය උදෙසා කැපවූ පුද්ගලයින් රාශියක් සිටින ලද අතර, අධ්‍යාපනික, ක‍්‍රීඩා හා සෞන්දර්යාත්මක අංශවලින් විශේෂ ජයග‍්‍රහණ ලබා දෙමින් බොස්කෝ මාතාව ඔපවත් කිරීමට බොස්කෝ සිසු දරු දැරියන්ට හා පාසලේ නියමුවන්ට හැකි වී ඇත.

 

 

tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |