- හෝමාගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිල වෙබ් අඩවිය -

logo1

 

ethaksalawa

 

nie

 

exam

 

edu

 

epd

 

sch

 

nvq

 

- ආටිගල කනිෂ්ඨ විද්‍යාලය -

atigalakv

       බස්නාහිර පළාතේ කොළඔ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළයට අයත් හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කැළණි ගංගා මිටියාවතෙහි පිහිටා ඇති ආටිගල කනිෂ්ඨ විද්‍යාලය හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් වූවකි.
ආටිගල ගම්පියසට මෙවැනි පාසලක ඇති දැඩි අවශ්‍යතාව මුලින්ම හදුනාගත්තේ බටවල පාසලේ මූලික අධ්‍යාපනය ලැබ විද්‍යොදය පිරිවෙනින් උසස් අධ්‍යාපනය හා ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලැබ එවකට තරුණවියේ පසුවූ ගරු ආරියපාල ජයසුන්දර මැතිදුන්ය.


      මේ අනූව මුලින්ම ජයසුන්දර මහතා පාසල පිළිබඳව තම හිතවත් සගයන්වූ බි.එම්.පුස්සැල්ල, ඩී.එස්.පුස්සැල්ල හා ආමිලිස් ජයසුන්දර යන අය සමග සාකච්ඡා කරන ලදී. ඵහි ප්‍රතිඵලයක් ලෙස පුස්සැල්ල පරම්පරාවේ පරිත්‍යාගශීලීන් තිදෙනෙක් විසින් පරිත්‍යාග කරනලද ඉඩමක “ආටිගල පාසල් මාතාව“ ආරම්භ කිරීමේ මූලික අඩිතාලම සකස් කරන ලදී. මෙම සත්කාරයට ගම්වාසීන්ගේ සහයෝගය මෙන්ම විරෝධතාවන්ද පැන නැගුණි. නමුත් ඒ සියල්ලම අභිභවායමින් ආරියපාල ජයසුන්දර මහතා අනෙකුත් කණ්ඩායම්වල සහයෝගයෙන් 1935 ක් වූ මැයි මස 06 වන දින යෙදුන සුබ මොහොතින් ආටිගල කනිෂ්ඨ විදුහල් මාතාව නිල වශයෙන් පාසලක් ලෙස ආරම්භ කරන ලදී.


       මෙදින ආරම්භ කිරීමට තවත් හේතුවක් වූයේ එවකට බ්‍රිතාන්‍යයේ පස්වන ජෝර්ජ් රජතුමාගේ අධිරාජ්‍ය පදවි ප්‍රාප්තියේ පස්විසි වසරක් ගතවීමයි. එය නිමිතිකොටගෙන මෙම විදුහල එදා නම්කරනු ලැබුවේ  “රජත ජුබිලි“ විදුහල නමිනි.
       මෙම විදුහල ආරම්භවීමත් සමඟම බලාපොරොත්තු වූ ආකාරයටම ආටිගල ගම්වාසී දූ දරුවන් වැඩි පිරිසක් අධ්‍යාපනයට නැඹුරුවූහ. මේ ආකාරයට සුළු පිරිසකගෙන් ආරම්භ වූ මෙම විද්‍යාලය වසර කීපයක් ගතවනවිට සිසු පිරිසගේ වැඩි වර්ධනයත් සමගම ගුරු මණ්ඩලය ද දසදෙනෙක් දක්වා වර්ධනය විය. මෙම පාසල් ගීයේ නිර්මාතෘ වශයෙන් මෙත්තානන්ද ජයසුන්දර මහතා හඳුන්වාදිය හැකිය.


       මේ ආකාරයට දියුණු වූ ආටිගල කනිෂ්ඨ විද්‍යාලය 1980,1990කාලය වන විට පන්සියයකට ආසන්න සිසු පිරිසකට අධ්‍යාපනය ලබාදෙන ගුරු මණ්ඩලයද 23 කින් පමණ සමන්විත තත්වයට පත්විය.

      මෙම පාසලේ භෞතික සම්පත්වල වෙනස්වීම අනූවබලන කල ගොඩනැගිලි 6 ක් ඇත. පාසලේ ගොඩනැගිලි වලට අමතරව පිරිමි/ගැහැණු වශයෙන් වැසිකිලි 2ක් ඉදිකරන ලදී. මෙම පාසලේ ඉඩම් ප්‍රමාණය අක්කර 1 යි,රූඩි 2 කි. මෙහි අයිතිය වනුයේ ආරියපාල ජයසුන්දර මහතාටයි. තවද මෙහි භෞතික සම්පත්වල වෙනස්වීම් වශයෙන් ක්‍රීඩාපිට්ටනියක්, පුස්තකාලයක්, පරිගණක ඒකකයක් ලැබී තිබේ. ඒ. සි. ගුණතිලක මහතාගේ කාලයේ පුස්තකාලය සඳහා පොත් තිබුනද ස්ථීර වශයෙන් ගොඩනැගිල්ලක් නොවීය. පසුව 2 වෙනි ශාලාවේ කෙළවර කාමරයක පුස්තකාලය පවත්වාගෙන යන ලදී. මෙය ආසියාතික පදනම මගින් කරන ලද පරිත්‍යාගයක්වශයෙන් කරුණා රාජපක්ෂ විදුහල්පතිනියගේ කාලයේ දෙමහල් ගොඩනැගිල්ලේ උඩුමහලේ පංතිකාමර දෙකක් පුස්තකාලය ලෙස සංවර්ධනය කර අවශ්‍ය මේස,පුටු,කබඩ් ආදී උපකරණ ලබා දෙන ලදී. තවද 1973,1974 දක්වා සිටි ඩී. එල්. ජයසේන විදුහල්පතිතුමාගේ කාලයේ ක්‍රීඩා පිටිය සඳහා ඉඩම් ලබාගෙන සකස් කරන ලදී.


       පාසල ආරම්භයේ සිට මේ දක්වා “විදුහල්මාතාව“ දියුණු කිරීමට ඇපකැපවූ විදුහල්පතිවරු වශයෙන් ධර්‍මශ්‍රී විතාන මහතා, ආරියපාල ජයසුන්දර මහතා, ඩී. සී. ගුණතිලක මහතා, රුද්‍රිගු මහතා, ඩී. ආර් .මංචනායක මහතා, ඩී. ආර්. චන්ද්‍රසේකර මහතා, කේ. ඩී. ලීලසේන මහතා, එල්. එස්. පෙරේරා මහතා, එල්. එස්. ආරච්චි මහතා, ඩී. එල්. ජයසේන මහතා, එල්. ඒ. පෙරේරා මහතා, කේ. ඒ. කුමාරගේ මහතා, කරුණා රාජපක්‍ෂ මිය, ඩබ්ලිව්. ඩී. විජේසේන මහතා, පූජ්‍ය පානළුවේ රතනසාර හිමි, ජේ. විමලසිරි ජයකොඩි මහතා, ඩබ්ලිව්. ඩී. ජයතිස්ස මහතා යන මහත්ම මහත්මීන් හඳුන්වා දිය හැකිය.

       

පාසලේ දැක්ම

 

මෙහෙවර ප්‍රකාශය

“හෙට ලොවට ගුණ නුවණින් සපිරි පුරවැසියෙක්“

හෙට ලොවට අභියෝග දිනමින් උදාර ගතිපැවතුම් වලින් යුතුව සමාජයට උතුම් මෙහෙවරක් කිරිමට ස්වකීය කැපවීම දැක්විය හැකි පූර්ණ පෞරුෂත්වයකින් යුත් දරුවෙක් සමාජයට දායාද කිරීම අපගේ මෙහෙවර වේ.

      පාසලට යන මාර්ගය දෙස බලන කල පෙනීයන්නේ කලාප කාර්යාලය —› පොදු පොළ—› හෝමාගම දුම්රියපොළ —› පිටිපන හංදිය —› අවිස්සාවේල්ල පාරේ මීගොඩ හංදිය වම්පසින් 219 බස් මාර්ගය දිගේ පානළුව —› විලඋඩ ප්‍රෙද්ශයේ මෙම විදුහල පිහිටා තිබේ.


       මෙම පාසලේ වර්තමාන තත්වය දෙස බලනකල ගමේ වැඩි ආදායම් ලබන පවුල්වලදූදරුවන් අධ්‍යාපනය ලැබීම සඳහා නගරයේ පාසල්වලට යොමු වීමත්, අඩු ආදායම් ලබන දෙමව්පියෝ ඔවුන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳව එතරම් උනන්දුවක් නොදැක්වීමත් යන ප්‍රධාන කරුණු මත මෙම විද්‍යාලයට අධ්‍යාපනය ලැබීමට එක්වන දූදරුවන්ගේ ප්‍රමාණයේ යම් අඩු තත්වයක් දක්නට ලැබේ. එයට අමතරව 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සමත් වන පිරිස වෙනත් විද්‍යාල වලට ඇදීයාමත්, එසේ සමත් නොවන නමුත් වැඩි ලකුණක් ලබා ගන්නා අනෙක් සිසු දරුවන්ද, ආසන්නයේ පිහිටා ඇති වෙනත් පාසල්වලට ඇදීයාමත්, ශිෂ්‍ය ප්‍රජාව අඩුවීමට බලපාන ලද අනෙකුත් සාධක ලෙස පෙන්වාදිය හැකි ය.


       මෙම පාසලේ පළමුවැනි ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පංති පැවැත්වේ. දැනට ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 225 ක් පමණවේ. ස්ථීර ගුරුමණ්ඩලය 17 ක් වන අතර, අනුයුක්ත ගුරු සංඛ්‍යාව 3කි. අනධ්‍යන කාර්ය මණ්ඩලයේ එක් අයෙක් පමණක් සිටියි.


       මෙහි අධ්‍යාපන තත්වය දෙස බලනකල අ.පො.ස. (සා.පෙළ) විභාගයට සිසුන් ඉදිරිපත් වන අතර ඉන් උසස් පෙළ හැදෑරීමට වැඩි පිරිසක් සමත් වෙයි.


       අප පාසලේ සෞන්දර්ය ඒකකයක්ද පවත්වාගෙන යයි. එමෙන්ම වසරක් පාසා එම අංශයෙන් විශේෂ ජයග්‍රහණ පාසලට ලබාදී ඇත. තවද ක්‍රීඩා අංශයෙන්ද කැපී පෙනෙන දක්ෂ ගුරුවරුන් සිටියි.


       තවද සිංහල භාෂා තරඟ, බෞද්ධ, ඉංග්‍රීසි, විද‍්‍යාගණිත, නායකත්ව පුහුණු වැඩසටහන් ආදී විෂය සමගාමී කටයුතුවලට සිසුන් යොමු කරන අවස්ථා වේ.


       අප පාසලෙන් බිහිවූ විශිෂ්ට පුද්ගලයන් 1 සිට 11ශ්‍රේණි පමණක් පවතින නිසා විශේෂ වශයෙන් දැක්වීම අසීරුය. මෙම විදුහලේ අ.පො.ස. (සා.පෙළ)  විභාගයෙන් සමත්ව උසස් පෙළ හැදෑරීමට වෙනත් පාසල්වලට ගොස්  උසස් පෙළ සමත්වී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබ, ගුරුවෘත්තිය, රාජ්‍ය පරිපාලනය ආදී රජයේ උසස් තනතුරු හොබවන අය විශාල පිරිසක් ඇත.


       ඒ අය අතර 1945 මෙම විදුහලට ඇතුළත්ව අධ්‍යාපනය ලබා එවකට තිබූ ජ්‍යෙෂ්ඨ විභාගයෙන් සමත්වී, මෙම පාසලටම පත්වීමක් ලබාගෙන ගුරුවරියක ලෙස සේවය කල සී. ඒකනායක මහත්මිය විශේෂ අයෙකු ලෙස දැක්විය හැකිය.


       මේ අනූව පෙනීයන්නේ ආටිගල කනිෂ්ඨ විද්‍යාලය කුඩා පාසලක් වුවත් ඉතිහාසගත වාර්තා තැබූ පාසලක් ලෙස නම් කල හැකි බවයි.


- 2015. 10. 08 දින විද්‍යාලයේ දරුවන් සහ අවට පාසල් සමග පැවැත් වූ කියවීම් කඳවුර -

reading1atigala2atigala3atigala4

atigala5atigala6atigala7atigala8

atigala9atigala10atigala11atigala12atigala13

atigala13atigala14atigala14atigala15

atigala16atigala17atigala18atigala18

tag

ජාතික අධ්‍යාපන ආයතනය | අධ්‍යාපන අමාත්‍යංශය | පාසල් ජාලය | ඉ - තක්සලාව | විභාග දෙපාර්තමේන්තුව | රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය |
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව | බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව | ජාතික වෘත්තීය සුදුසුකම් පද්ධතිය | යුනිකේත හුරුව |
| රජයේ නිල අන්තර්ජාල බිහිදොර |